Sri Lanka Brodcasting Corporation

Fri09222017

Last updateFri, 22 Sep 2017 1pm

Prime Minister's Speech

බදුල්ල නගරයේ පැවති ඒ.ජා.ප. සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගීවෙමින් ගරු රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ කතාව

prime minister2016 07 03 01

එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් ආරම්භ කළ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන අද අප බදුල්ලේ ක්‍රියාත්මක කරනවා. යහපාලන ආණ්ඩු පෙරලිය සිදුවූයේත් බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනයි. 1818 වසරේදී මෙන් නොව මෙවර ඌවෙන් පටන් ගත් කැරැල්ල මුළු රට පුරා ව්‍යාප්ත වී විශාල වෙනසක් සිදු කිරිමට හැකි වුණා. ඒ සදහා අප විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු මහතාට ස්තඣතිවන්ත විය යුතුයි. එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැතැයි කියු යුගයේ දී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අතහැර තරග කොට පළාත් සභා මැතිවරණයෙන් බදුල්ලේ ගත් විශිෂ්ඨ ජය නිසා රාජපක්ෂ රෙජිමය අන්ත අසරණ වුණා. ඔවුන් ඉක්මනින් ජනාධිපතිවරණයක් කැදවූයේ එම නිසයි. එහිදි අපට එකතු වී පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කොට ජය ලබා ගැනීමට හැකි වුණා.

අප ඒ අයුරින් ආණ්ඩුවක් බිහිකළා. අප ඇති කළ ආණ්ඩුව ඉදිරියට යන විට අපට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙන්න සිදුවුණා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබන ප්‍රතිඑලය කුමක් වුවත් අප ජාතික ආණ්ඩුවක් බිහිකරන බව මැතිවරණ වේදිකාවේදී අප ප්‍රති ඥා ලබා දුන්නා.

අප ඒ ජාතික ආණ්ඩුවක් බිහිකලේ ඇයි? ඊට හේතුවක් තිබෙනවා. අප බලයට පැමිණියේ අපේ සාක්කු පුරවා ගන්න නොවෙයි. ජනතාවගේ සාක්කු පුරවන්නයි. අප ආවේ අපට මාළිගා හදාගන්න නොවෙයි, ජනතාවට නිවාස ලබා දීමටයි. අප ආවේ අනුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට නොවෙයි. ඔබට ඉඩම් අයිතිය ලබා දීමටයි. අප ආවේ දේශපාලන හෙංචයියන්ට වැඩ කරන්න නොවෙයි. තරුණ තරුණියන්ට රැකියා ලබා දී ආදායමක් උත්පාදනය කිරිමටයි.
අලූත් ලෝකයක් හැදීමේ අවශ්‍යතාවය අප සතුව තිබෙනවා. ඒ තරුණයන් කැමති ලෝකයයි. අපේ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනේ ඊ සාමාජික පත් ලබා දීමේ වැඩ සටහන යටතේ අප පක්ෂය සමග ලේසියෙන්ම එක්වීමට හැකියාව තිබෙනවා. අප වගේ පරණ අයට නම් මේවා තේරෙන්නේ නෑ තමයි. අපේ පරපුරේ අය පරණ පුරුදු විදිහට සාමාජික පත් ලබා ගන්නවා. නමුත් තරුණ තරුණියන්ට නව ඊ සාමාජිකත්වය ලබා ගත හැකියි.

තරුණයන්ගේ ලෝකය තරුණයන්ට ඉදිකරදිය යුතුයි. ඒ අයට ඉදිරියට යාමේ අයිතිය තියෙනවා. විශාල සංවර්ධන වැඩ සටහන් තනියම කරන්න ගියොත් අනෙක් අය අපට විරුද්ධ විය හැකියි. ජාතික ආණ්ඩුවක් පිහිටුවා සියලූම දෙනාගේ සහභාගිත්වය ලබා ගත්තේ ඒ නිසයි. එවිට සියලූම දෙනාට හොද මෙන්ම නරකත් බෙදා ගන්න හැකියාව තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාටත් අපේ නිමල් සිරිපාල ඇමතිතුමාත් කැබිනට් මණ්ඩලයේදී එකතු වී සිටිනවා. මෙතෙක් කල් දෙපසක සිටියත් දැන් එකතු වී රට වෙනුවෙන් ක්‍රියා කරනවා. අපට අවශ්‍ය මේ රට නවීකරණය කිරිමේදි සියලූම දෙනා ඊට එක් කර ගැනීමයි.

ටී.එන්.ඒ., ජේ.වී.පි. ඕනෑම කණ්ඩායමක් සමග එකතු වී මට අවශ්‍ය වන්නේ වැඩේ කරන්නයි. රට හැදීමේ එකම දර්ශනය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අප සියලූම දෙනාම එකතු වී රට හදමු.

දැන් අප බලයට පැමිණ වසරක් ගතවී තිබෙනවා. මේ වසර තුල කලේ කුමක්දැයි ඇතැමුන් අපෙන් අහනවා. අපට රාජපක්ෂ රෙජිමය බාරදී ගියේ ස්ව්ට්සර්ලන්තය නොවෙයි. ඩුබායි නොවෙයි, සිංගප්පුරුව නොවෙයි, ඔවුන් අපට භාරදී ගියේ සොරකම්කර, නැත්තටම නැති කර තිබු රටක්. ඔවුන්ගේ යුගයේ දී ජාත්‍යන්තරය අප රට දෙස බැලූවේ වත් නෑ. මිනිමරුවන් සිටි රටක් ලෙස පැවසුවා. අප ගත් පියවර නිසා අද අපගේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලෝකය වටේ ගොස් දැන් ලෝකය අපේ පැත්තට හරවා ගෙන සිටිනවා. දැන් අපට ඕනෑම තැනකට යා හැකියි. "ආ ලංකාවෙන්ද ආවේ, එන්න එන්න යැයි ලෝකය දැන් අප සුහදව පිළිගන්නවා. ඉස්සර ලංකාවේ අයට එන්න එපා යැයි පැවසුවා. වෙනස එයයි. අපට දැන් විශේෂ පිළිගැනීමක් තිබෙනවා."

අපට මුදල් සොයන්න අවශ්‍යයි. ඒ සදහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වොෂින්ටන්, ලෝක බැංකුව, මැනිලා නුවරට, ආසියා සංවර්ධන බැංකුවට, චීනයට යවන්න සිදු වුණා. කඩා වැටී තිබු ආර්ථිකය නඟාසිටුවීම සදහා මුදල් දීමට සූදානම් යැයි දැන් ජාත්‍යන්තරය අපට පවසනවා. මුදල් නොමැතිව රට හදන්න බැහැ.

ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා සංවර්ධන උපාය මාර්ගය සහ ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද ලෝකය පුරා පිටත් කිරිමට අපට සිදුවුණා. මේ වනවිට චීනයෙන් සාර්ථක ලෙස ආයෝජකයන් මෙහි කැඳවාගෙන ඒමට එකග වී තිබෙනවා. එමෙන්ම ඉන්දියාව සමග වෙළෙද ගිවිසුමක් ඇතිකර ගැනීමේ කටයුතු පිළිබද සාකච්ඡා කිරිමට මලික් සමරවික්‍රම මහතා ඉන්දියාවට යාමට නියමිතයි. එවිට අපිට ශ්‍රි ලංකාවේ භාණ්ඩ ඉන්දියාවට අපනයනය කල හැකියි.

මේ සියලූම වැඩ කටයුතු කරන අතරතුර අප අනෙක් දේශපාලන පක්ෂ සමගත් එක්වී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ කටයුතු සිදුකරනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇති කිරිම සදහායි. දැන් මේ සියලූ කටයුතු ක්‍රියාත්මක කිරිමේ කාලයයි.

රැකියා ලබා ගැනීම සදහා තව කොපමණ කලක් බලා සිටිමට සිදුවේදැයි තරුණ තරුණියන් අපෙන් විමසනවා. අපේ පාක්ෂිකයන්ටත් අප රැකියා ලබා දිය යුතුයි. ඒ අයට රැකියා ලබා දීම සදහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයන් දායක කර ගන්නවා. එමෙන්ම පසුගිය කාලයේ සිදුවු දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. නමුත් අපට එතනින් නැවතිමට හැකියාවක් නැහැ. මේ රටේ සෑම තරුණ තරුණියක සදහාම ජීවත් වීමට රැකියාවක් ලබා දිය යුතුයි. රැකියා ලක්ෂ 10 බිහිකරන්නේ ඒ සදහායි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මෙන්ම පක්ෂයක් නැති අයටත් හොඳ රැකියා ලබා දීම අපේ අරමුණයි. නොයෙක් අය, නොයෙක් ආකාරයේ රැකියා බලාපොරොත්තු වෙනවා. අපගේ සංවර්ධන වැඩ සටහනේ ප්‍රධානතම වාසියක් බදුල්ලට ලබා දීමට නියමිතයි.

අප භාරගත්තේ ලෝකයේ ලොකුම පිහිණුම් තටාකයයි. හම්බන්තොට එම පිහිණුම් තටාකය ඉදිකර තිබුණා. තව වසර දෙකක් යන විට එය නැව්වලින් පිරවීමට මා කටයුතු කරනවා. එහි වරායක් පමණක් නොව, නැව් අලූත් වැඩියා කිරිම සදහා නැව් තටාකාංගනයක් මෙන්ම අලූතින් නැව් නිෂ්පාදනය කිරිමටත්, චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරිමට අප එකග වී සිටිනවා. මා බියගම දියුණු කලා සේ, ගාමිණි දිසානායක මහතා මහවැලි ව්‍යාපාරය දියුණු කලා සේ, මූලික පහසුකම් සියල්ල හම්බන්තොට දියුණු කිරිම සදහා ලබාදීමට නියමිතයි.

දවසට එක් ගුවන් යානයක් පැමිණෙන මත්තල ගුවන් තොටුපලට දවසට ගුවන් යානා පනහක්වත් එන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබෙනවා. එවිට එම ප්‍රදේශයට විශාල වශයෙන් සංචාරකයින් පැමිණෙනවා. හෝටල් ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වෙනවා. සංචාරකයන්ට කඳුකරයට යාමට අවශ්‍ය නම් කොළඹගොස් නුවර යාමට අවශ්‍ය වන්නේ නැහැ. කෙලින්ම බදුල්ල සංචාරක පුරවරයක් ලෙස දියුණු කල හැකියි. කර්මාන්ත කලාප ඇති කිරිම සදහා ආයෝජකයන් අපෙන් ඉඩම් ඉල්ලා තිබෙනවා. ඒ අනූව, පළමු අක්කර දහස හම්බන්තොට ප්‍රදේශයෙන් ලබා දෙනවා. බියගම කලාපය, කටුනායක කලාපය, කොග්ගල කලාපය, මෙන්ම සීතාවක කලාපය යන හතරම එක්කළ ආකාරයේ විශාල සංචාරක කලාපයක් හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් ඉදිකෙරෙනවා. ඌව පළාතේ මොණරාගල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශාල දියුණුවක් ඇති කිරිමට නියමිතයි. ඒ සදහා අවශ්‍ය ජලය ද නිල්වලා ගගෙන් ලබා දීමට හැකියාවක් ඇති බව දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය අප සමග පවසා තිබෙනවා. එවිට බස්නාහිර වෙළෙද කලාප වලට වඩා ආර්ථිකයක් එම ප්‍රදේශයේ බිහි වේවි.

එහි වාසිය එන්නේ කාටද? හම්බන්තොට වරාය හැදු විට දෙතුන් දෙනෙකුගේ සාක්කු පිරුණා. අප මෙම සංවර්ධන කලාප ඉදිකළ පසු ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ සාක්කු පිරෙන බව පැවසීමට කැමතියි. හම්බන්තොට, මොණරාගල ප්‍රදේශවල අනාගතයේ දී බොහෝ සෙයින් ඉඩම් මිල ඉහල යාවි. මේ ප්‍රදේශවල සිට එළවලූ, පළතුරු ආදිය එම ප්‍රදේශවලට යැවීමටත් හැකියාව තිබෙනවා.

ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතවත් විශාල ආර්ථික කලාපයක් බිහිකිරිමට නියමිතයි. එම ප්‍රදේශයේත් කර්මාන්තපුර ඉදිවේවි. මෙම ආර්ථික කලාප දෙකෙන්ම බදුල්ලට විශාල වාසියක් අත්වෙනවා. නැගෙනහිර මෙන්ම ඌව පළාතේ ඇතිකරන ආර්ථික කලාප නිසා බදුල්ල සීග්‍ර ආර්ථික දියුණුවකට උරුමකම් කියනවා. අප ලෝකය වටේ යන්නේ ආයෝජකයන් සොයාගෙන මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම නිසායි. හම්බන්තොට, මාතර, ගාල්ල සිට අරුගම්බේ දක්වා මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කරගනිමින් පැමිණිය හැකි ආර්ථික කලාපයක් බිහිකරනවා.

මේ ප්‍රදේශය සංචාරක කර්මාන්තය දියුණු කිරිම සදහා ගොල්ෆ් කී්‍රඩාංගන දෙක තුනක් ඉදිකිරිමට ඉඩම් සොයා දෙන්නැයි මා පැවසුවා. ඒ සදහා විශාල හෝටල් මෙන්ම කුඩා හෝටල් වල සහයද අපට ලැබෙනවා. ඇල්ල වැනි ප්‍රදේශවල පරිසරය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි අප කල්පනා කල යුතුයි.

කර්මාන්ත ක්ෂේත්‍රයෙන් සංචාරක කර්මාන්තයෙන්, වෙළදාමෙන්, මෙම ප්‍රදේශයේ ජනතාවට මුදල් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. අප ආර්ථිකය හැදු පසු මුදල් උපයන්නේ කෙසේදැයි ඔබ දැන ගත යුතුයි. නීත්‍යානුකූලව ඔබට ඕනෑතරම් මුදල් ඉපයීමට හැකියාව තිබෙනවා. අප එක්අයෙකු පමණක් මුදල් ඉපයීමේ පැරණි ක්‍රමය අවසන් කලා. අද ඔබට ඕනෑ තරම් නිත්‍යානුකඣල අයුරින් මුදල් ඉපයීමට හැකියි.

අපගේ කෘෂි බෝග අපනයනය කිරිමේ හැකියාව පිළිබදව මත්තල ගුවන් තොටුපල දියුණු කල පසුව අප සොයා බලනවා. අපට චීනයට මෙම කෘෂි බෝග අපනයනය කල හැකියි. සිංගප්පුරුවට යැවිය හැකියි. මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ඌව මෙන්ම සබරගමුව ප්‍රදේශ වල කෘෂි බෝග අපනයනය කිරිමේ හැකියාව තිබෙනවා. මල් වගාව,පළතුරු ආදි සියලූම කෘෂි බෝගවගා දියුණු කොට අපනයන කෘෂිකර්මයේ දියුණුවක් ඇති කිරිම අපේ අරමුණයි.

එමෙන්ම තේ වගාව දියුනු කරන්නේ කෙසේ දැයි සොයා බැලීම සදහා ද විදේශ ආයෝජකයන් පැමීණීමට නියමිතයි. මේ ප්‍රදේශ වලට තොරතුරු තාක්ෂණය ලබා දීම සදහා විශාල වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
අප එකට එකතුවී වැඩ කලොත් මේ ප්‍රදේශය මෙන්ම සමස්ත රට දියුණුවට පත්කිරිම ඉතා පහසු කටයුත්තක් බව කිව යුතුයි. ඒ අනූව වසර පහකින් මෙරට විශාල පරිවර්තනයකට ලක් වේවි. මුළු බස්නාහිර පළාතම මහ නගරයක් ලෙස දියුණු කිරිමේ වැඩ සටහන් අප අරඹා තිබෙනවා.

සංවර්ධනයේ දී සියලූ දෙනාටම සාධාරණත්වයක් ලැබිය යුතුයි. ආණ්ඩුවේ ඉඩම් වල පදිංචි සිටින ජනතාවට සින්නක්කර අයිතිය ලබා දෙන නීති මේ වසර අවසන් වීමට පෙර ගෙන ඒමට තීරණය කර තිබෙනවා. ඔප්පු ලබාදීම ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක කරනවා. මහවැලි ඉඩම් වල සිටිනවා නම්, ආණ්ඩුවේ ඉඩම් වල ජීවත් වෙනවා නම්, රජයේ තට්ටු නිවාස වල ජීවත් වෙනවා නම්, ඒවායේ සින්නක්කර අයිතිය ඔවුන්ට ලබා දිය යුතුයි. මෙම ඉඩම් සහ නිවාස ආණ්ඩුව නමින් තබාගෙන ජනතාවට ජිවත් වෙන්නට ඉඩ දීමෙන් පලක්වන්නේ නැහැ. ඒ අයිතිය ජනතාවට ලබා දී ඒවා දියුණු කිරිමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

අපට අධ්‍යාපනය දියුණු කිරිම ඉතා වැදගත්. ඌව ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඉදිරියට යෑමට නම් හොද අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මූලික අධ්‍යාපනය වන්නේ පාසල් අධ්‍යාපනයයි. ඒ නිසා සෑම පාසල් දරුවකු සදහාම වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. හැම පාසලකම හොද අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එලෙස හොද අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැත්නම් විදුහල්පතිවරයා මාරු කිරිමට අපට සිදුවෙනවා. එවිට වසර පහක් දහයක් යන විට හොද ක්‍රමවේදයක් ඇති කරගැනීමට හැකියාව තිබෙනවා. තම දරුවන්ට, මුණුපුරන්ට මීට වඩා හොද අධ්‍යාපන ක්‍රමයක් ලබා දීමට ඔබට හැකියාව ලැබේවි. නාගරික පාසල්වලට දරුවන් යොමු කිරිම සදහා අද විශාල තදබදයක් තිබෙනවා. අප මේ ප්‍රශ්න වලට විසදුමක් ලබා දිය යුතුයි. අප මේ වැඩ කටයුතු කරන්නේ එම ගැටලූවට ස්ථිරසාර විසදුම් ලබා දීම සදහායි.

අපේ ප්‍රතිපත්තිය කුමක්ද? තිරසාර සංවර්ධනයත්, සමාජ සාධාරණත්වයත්, පදනම් කර ගත් ලෝකය සමග තරග කළ හැකි ආර්ථිකයක් ඇති කිරිමය. එම ආර්ථිකයෙන් උත්පාදනය වන මුදල් එක් අයෙකුගේ සාක්කුවට පමණක් යන්නේ නැහැ. එම මුදල් යන්නේ ජනතාවගේ සාක්කුවටයි. මේ සියලූ දේ සදහා අප මුදල් සොයා ගත යුතුයි. හැකි සෑම ස්ථානයකින්ම අප මුදල් එකතු කරමින් සිටිනවා. ආධාර ලබාගන්නවා.

ඉඩම් විකිණිමේ දී සහ කොටස් විකිණීමේ දී අය කර ගැනීම සදහා ධනපතියන්ට අප බදු පනවා තිබෙනවා. බඩු මිලට විශාල සහනයක් ලබා දීමට පසුගිය වසරේදි අපට හැකියාව ලැබුණා. සංවර්ධන කාර්යයන් සදහා මෙන්ම අධ්‍යාපනය දියුණු කිරිම සදහා මුදල් අවශ්‍ය බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සදහා වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා වැඩි කර තිබෙනවා. මෙය සියයට 15 කින් වැඩි කළේ නැහැ. වැඩි වුයේ සියයට 4 කින් පමණයි. ඒ මුදල ඔබ ගෙවන්නේ රට දියුණු කිරිම සදහායි. සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාම සදහායි.

අපට දේශපාලන දර්ශනයක් තිබෙනවා. මේ රට දියුණු කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය අත්‍යවශ්‍යයි. ඔබ ගමින් ගමට ගොස් අපේ දර්ශනය ගැන කියන්න. මෙම පක්ෂය භාර ගැනීම සදහා අප අලූත් පරපුරක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඔවුන් අලූතින් හිතන පිරිසක් විය යුතුයි. ඒ නව පරපුර මේ දැවැන්ත පක්ෂය භාරගැනීමට සුදානම් විය යුතුයි. ඒ සියලූ දේ සිදුකර එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරයේදී පක්ෂයේ පරිවර්තනය ආරම්භ කරන බවට මා මෙහිදි ප්‍රති ඥා ලබා දෙනවා.

prime minister2016 07 03 01

prime minister2016 07 03 01

prime minister2016 07 03 01

prime minister2016 07 03 01

prime minister2016 07 03 01

prime minister2016 07 03 01