Sri Lanka Brodcasting Corporation

Sat11182017

Last updateFri, 17 Nov 2017 9pm

Prime Minister's Speech

මුදල් අමාත්‍යාංශයේ අටවා තිබුණු බිම් බෝම්බය අපි නිෂ්ක්‍රීය කළා. -අගමැති රනිල් වික්‍රමසිංහ

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ අවුරුදු 20 ක පමණ කාලයකට පසු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත ආරම්භ කිරීම පිළිබඳව එතුමාට මාගේ ප්‍රශංසාව පුද කරනවා. ග්‍රාමීය, නාගරික මට්ටමින් නිවාස ඉදිකිරීම සඳහා එතුමා විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටිනවා. එමෙන්ම නිවාසලාභීන් සඳහා ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළහි ද එතුමා නිරත වී සිටිනවා. එතුමා මෙම කාර්යභාරය කොළඹට පමණක් සීමා කර නැහැ. ලංකාව පුරාම එම සේවය දියත් කර තිබෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලූ අනෙකුත් මැති ඇමැතිවරු රට ඉදිරියට ගෙන යාම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. 
 
සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යභාරයට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා ද විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉකුත් වසර දෙකක කාලය තුළ ආණ්ඩුව සිදු කළේ කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරනවා. 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වු අවස්ථාවේ දී හා මා අගමැති ධූරයට පත් වු අවස්ථාවේ දී ජනතාව විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සිංහල වුවත්, ද්‍රවිඩ වුවත්, මුස්ලිම් වුවත්, එක්සත් ජාතික පාක්‍ෂිකයින් වුවත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්‍ෂිකයින් වුවත් ඉදිරියට යන්නේ කෙසේදැයි විවිධ පාර්ශ්වයන් අතර විවිධ අදහස් තිබුණා. දැන් අත් වී තිබෙන ප්‍රතිලාභය කුමක්දැයි අපෙන් ප්‍රශ්න කරනවා. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය බාරගත් අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ බහුතරයක් අපට තිබුණේ නැහැ. අපගේ පළමු පියවර වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා අලූත් අයවැයක් ඉදිරිපත් කර ජනතාවට සහන ලබාදීම සඳහා වූ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමයි. රටේ ප්‍රශ්න විසදීම සඳහා එක්සත් ජාතික පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටවූවා. රට තුළ දේශපාලන ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා අපට වසරක් ගතවුණා. 2016 වසරේ දී ද විශාල කාර්යභාරයක් ඉටු කිරීමට අපට හැකි වුණා. අප මත පටවා තිබූ විශාල ණය බර අපට ප්‍රශ්නයක් වී තිබුණා. මුදල් අමාත්‍යාංශය බාරගත් මොහොතේ එහි අටවා තිබුණේ බිම් බෝම්බයක් බව කිව යුතුයි. එය කුමන මොහොතක පුපුරා යාවිදැයි යන ප්‍රශ්නය තිබුණා. බිම් බෝම්බය නිෂ්ක්‍රී කිරීම සඳහා විශාල කාලයක් ගත වුණා. දැන් එම බෝම්බය සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය කර තිබෙනවා. 
 
මා මෙම ස්ථානයට පැමිණීමට පෙර අර්ජුන රණතුංග මහතා මා සමග සාකච්ඡා කරමින්, හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ණය ගෙවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා. මෙම ක්‍රීඩාංගනය සඳහා රුපියල් මිලියන 4000 ක් ගෙවීමට තිබෙනවා. වසර 10 ක කාලයක් ගත වුවත් මේ ණය මුදල ගෙවීමට නොහැකියි. එම ණය මුදල නොගෙවන්නේ නම් නඩු මඟට ගොස් එම මුදල ලබා ගැනීමට ඉඩ තිබෙනවා. මෙම මිලියන 4000 ක මුදල අපට ගෙවීමට සිදුව තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගනයට පමණක් බව කිව යුතුයි. මෙවැනි විශාල මුදලක් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවූවා නම් අපට එංගලන්තය හා ඕස්ට්‍රේලියාව පහසුවෙන් පරාජය කිරීමට තිබුණා. අප බාරගත් අවස්ථාවේ සිට අපට තිබුණේ විශාල ණය කන්දරාවක් ගෙවීමටයි. හම්බන්තොට ගුවන් තොටුපොළට, වරායට, ක්‍රීඩාංගනයට, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට වසරින් වසර ණය ගෙවීමට සිදු වුණා. එනම් අපට අවුරුදු දෙකක් ගතවූයේ මෙම විශාල ණය බර ගෙවීමටයි.
 
පසුගිය ආණ්ඩුව විසින් උකස් කර තිබූ ඔබේ අනාගතය ඉකුත් වසර දෙකක කාලය තුළ බේරා ගැනීමට අපට හැකි වී තිබෙනවා. මේ හේතුවෙන් එළැඹෙන වසර 2–3 ක කාලය තුළ රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වෙනවා. ඉතිරි ණය මුදල ගෙවීමට ද අප විශේෂ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිනවා. හම්බන්තොට ක්‍රීඩාංගනයට වඩා විශාල ණය ප්‍රමාණයක් හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට තිබුණා. රජය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරායේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට එම සමාගම එකඟත්වය පළ කර තිබෙනවා. චීන සමාගමේ කොටස් ආයෝජනයෙන් හම්බන්තොට වරායේ ණය මුදල ගෙවීමට හැකියාව ලැබී තිබෙනවා. එක් පැත්තකින් අපි හම්බන්තොට වරායේ ණය බරින් රටේ ජනතාව බේරා ගෙන තිබෙනවා. එමෙන්ම අප දැන් කල්පනා කරන්නේ මත්තල ගුවන් තොටුපොළ හා මහා මාර්ගවල ණය බරෙන් ජනතාව මුදවා ගන්නේ කෙසේද යන්නයි. ලබන වසරේ මේ ණය ගෙවීමේ ප්‍රවණතාවක් දැන් අපට තිබෙනවා. 
 
2016 වසර ගත වූයේ ණය බර පාලනය කර රාජපක්‍ෂ ආණ්ඩුව උකස් කර තිබු ඔබේ අනාගතය බේරා ගෙන ඔබට හොඳ අනාගතයක් උදා කිරීමේ අඩිතාලම දැමීමට බව මා ප්‍රකාශ කිරීමට කැමතියි. ඉකුත් රාජපක්‍ෂ ආණ්ඩුව උකස් කර තිබූණ ද, ඒ හමුවේ නොසැලී ස්ථාවර අනාගතයක් ඇති කර දීමට අපට හැකි වීම පිළිබඳව ආඩම්බර විය යුතුයි. 2015 වසරේ ජනතාව තැබූ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම සඳහා වූ සැලසුම් සකස් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෙවැනි පදවි ප්‍රාප්තිය සමග සියලුම සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. 
 
හම්බන්තොට ආර්ථික කලාපය, මහනුවර නගරය පුළුල් කිරීමේ වැඩ කටයුතු, ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතිය, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. අලුත් රැකියා උත්පාදනය කර ඔබේ අනාගතය සාර්ථක කර දීම සඳහා වූ අඩිතාලම 2016 වසරේ දී දැමීමට අපට හැකි වුණා. අඩිතාලමක් නොමැතිව ඉදිරියට ගමන් කරනවා නම් රට විනාශ වී යාමට ඉඩ තිබුණා. එවිට ඔබේ අනාගතය ද විනාශ වී යනවා. කර්මාන්ත ශාලා, හෝටල් කර්මාන්ත, වරාය සංවර්ධන වැඩකටයුතු, ගුවන් තොටුපොළ වැඩි දියුණු කළ විට නව රැකියා හා ආදායම් මාර්ග විවර වෙනවා. එමගින් ලැබෙන ආදායමෙන් ජනතාවට සහන ලබා දී ණය බර ගෙවීමට හැකි වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මා ඇතුලු සියලූම මැති ඇමැතිවරුන් මේ කාර්යය මුදුන්පත් කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බව කිව යුතුයි. 
 
අපේ සංවර්ධන සැලසුම් දෙස බලා අද සමහර පිරිස බිය වී සිටිනවා. හම්බන්තොට වරාය තුළ ක්‍රියාත්මක වු වර්ජනය පිළිබඳව මා පුදුමයට පත් වෙනවා. හම්බන්තොට වරාය වර්ජනය හේතුවෙන් එක් නෞකාවක් සදහා කෝටි 8 ක මුදලක් ගෙවීමට සිදු වුණා. වෙළෙඳ කලාප ඇති කිරීම සඳහා ඉඩම් ලබානොදෙන ලෙස කියමින් උද්ඝෝෂණය කරනවා. හම්බන්තොට පමණක් නොව, කලූතර, කුරුණෑගල ඇතුලූ ප්‍රදේශ රැසක වෙළෙඳ කලාප ඇති කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. සංවර්ධන වේගය සීග්‍රයෙන් ඉදිරියට ගෙන යාම සඳහා පළාත් සභාව සමග ද අත්වැල් බැඳගත යුතුයි. සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් විරැකියා ප්‍රශ්න විසදා රට සංවර්ධනය කරා ගමන් කරන විට තමන්ට සිදුවන්නේ කුමක්දැයි සමහරුන් අද බියට පත්ව සිටිනවා. ඔවුන් බියට පත්ව සිටින්නේ ඔවුන්ට අනාගතයක් නැති වනු ඇතැයි යන සැකයෙනුයි. ඔවුන්ගේ එකම අරමුණ මෙම සංවර්ධන වැඩ කටයුතු කඩාකප්පල් කිරීමයි. අපේ සංවර්ධන වැඩපිළිවෙළ නැවැත්වීමට කිසිවෙකුට ඉඩ නොතබන බව මා ප්‍රකාශ කිරීමට කැමතියි.
 
සංවර්ධනය සඳහා වූ ස්ථාවර අඩිතාලමක් දමා තිබෙන හෙයින් තරුණ තරුණියන්ට හොඳ රැකියා සහ ජනතාවට සහන ලබා දී ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට හැකි වෙනවා. ජීවත් වීම සඳහා නිවසක් තනා ගැනීම ඔබේ අනාගතයේ කොටසක්. නිවාස වැඩසටහන ද ලබන වසරේ සිට සීග්‍රයෙන් ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයි. 
 
නිවසක හිමිකම-දිවියට සවියක් යන මැයෙන් 2016.12.20 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.