Sri Lanka Brodcasting Corporation

Wed04262017

Last updateWed, 26 Apr 2017 9am

Prime Minister's Speech

තායිලන්තයේ බුදු දහම ආරක්ෂා වී තිබු හෙයින් ශ්‍රී ලංකාවට නැවත බුදු සසුන ලැබුණා.

කොටහේන දීපදුත්තාරාමය ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම අතර ඇති සංකේතයක් බව කිව යුතුයි. තායිලන්ත අතීත රජවරුන් මෙම විහාරස්ථානයට පැමිණ ඒ සබඳතාවය තහවුරු කර තිබෙනවා. තායිලන්තයේ භුමිබෝල් රජතුමන්ගේ අභාවය වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කිරීමට අද මෙම පින්කම සංවිධාන කර තිබෙනවා. මතක වස්ත්‍ර පූජාව අපටත් තායිලන්තයටත් පොදු වු සිරිතක් බව මෙහිදී සදහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව මෙන්ම තායිලන්තයත් ථෙරවාදී බුදුදහම හෙවත් තෙරුන් වහන්සේලාගේ දහම ආරක්ෂා කිරීම නිසා එවැනි පොදු සිරිත් ආරක්ෂා වී පවතිනවා.

ඉන්දියාවේ සිට පැමිණි බුදු දහම එකල මහා විහාර සම්ප්‍රදාය නිසා ආරක්ෂා වුනා. අනුරාධපුර යුගයේදී වෛයිතුල්‍යවාදයෙන් ථෙරවාදී බුදුදහම ආරක්ෂා කර ගැනීමට අප සමත් වුනා. එක් කාලයක මහා විහාරය සම්පූර්ණයෙන් විනාශ වුවත් ජනතාව ථෙරවාදී බුදුදහම අතහැරියේ නැහැ. අනුරාධපුර යුගයෙන් පසුව දිඹුලාගල විහාරස්ථානයෙන් එම මහා විහාර සිරිත ආරක්ෂා වුනා. මහා කාශ්‍යප සංඝනායක නාහිමියන් යටතේ යලිත් එම නිකායන් සියල්ලම එක්වී මහා විහාර සිරිත අනුගමනය කළා. රජරට රාජධානියෙන් පසුවත් දඹදෙනිය, ගම්පොල, කෝට්ටේ යුගවලත් මේ සිරිත ආරක්ෂා වුනා.

කෑරගල සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කැළණි උපසම්පදාවට තායිලන්තයේ කැම්බෝජියාවෙන් භික්ෂුන් වහන්සේ සම්බන්ධ වු බව පොත පතේ සදහන් වනවා. එදා තායිලන්තයට බුදු දහම ප්‍රචාරය කලේ අපේ දිඹුලාගල විහාරස්ථානයෙනුයි. එදා තායිලන්තය ඛමෙර් අධිරාජ්‍යයෙන් නිදහස ලබාගෙන එම නිදහස පෙන්වූයේ සුකුතායි රාජධානියේ අගනුවරට අපේ භික්ෂුන් වහන්සේලා වැඩමවා ගෙන යාමෙනුයි. දිඹුලාගල මහා විහාර සිරිත අනුගමනය කළ තායි කැම්බෝජියානු නවක ස්වාමින් වහන්සේලා අපේ සංඝයා වහන්සේලා සමග සුකුතායි නගරයට ගොස් ථෙරවාදී ධර්මය ස්ථාපිත කළා. සුකුතායි පමණක් නොව චෙංමායි නගරයටත් ථෙරවාදි බුදුදහම මුලින් ව්‍යාප්ත වී තිබුණා. එම නගරයේ විශාල විහාරස්ථානයකටද මට යාමට අවස්ථාව ලැබුණා. ඒ අයුරින් රුවන් ප්‍රභා රාජධානියට, කැම්පෝජියාවට, දකුණු වියට්නාමයට බුදු දහම ව්‍යාප්ත වුනා.

වසර 200ක් පමණ ථෙරවාදී බුදු දහමේ උපසම්පදා භික්ෂුන් වහන්සේ අපට නොමැති වු කාලයක් තිබුණා. ඒ යුගයේදී ථෙරවාදී බුදු දහම සහ ත්‍රිපිටකය ආරක්ෂා වූයේ අයුත්තිය රාජධානියෙනුයි. විජය රාජසිංහ රජතුමා අයුත්තිය රාජධානියට දූත පිරිසත් යවා සිංහල නිකායේ සිටින ස්වාමීන් වහන්සේලා වැඩමවා ගෙන එන ලෙස දැනුම් දුන්නා. එලෙස අයුත්තිය රාජධානියට ගිය අවස්ථාවේදී විජය රාජසිංහ රජතුමා මියගිය නිසා එම දූත හසුන් සියල්ල අහෝසි වුණා. එලෙස දූත පිරිසට තුන් වතාවක් තායිලන්තයට යාමට සිදුවුනා. අපේ මව් පරම්පරාවට සම්බන්ධ මීදෙනියේ රාළ එම ගමනට සම්බන්ධ වී තිබෙනවා. එකල තායිලන්තයේ බුදු දහම ආරක්ෂා වී තිබූ හෙයින් ශ්‍රී ලංකාවට නැවත බුදු සසුන ලැබුණා. මේ වන විට සියම් නිකාය යනුවෙන් නම් කර තිබෙන්නේ එලෙස ගෙන ආ බුදු දහමයි.

ඊට පසු කාලීනව අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ආරම්භ කෙරුනේ එම සිරිත අනුව ඉදිරියට යාම නිසයි. පළමුවෙන්ම ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුනේ සියමයේයි. ඊට පසුව රාමඤ්ඤ සහ අමරපුර නිකායන් ආරම්භ කිරීමට බුරුමයේ සහයෝගය ලැබුණා. ඒ අනුව අග්නිදිග ආසියාව සහ අප අතර සම්බන්ධය තහවුරු වී තිබෙනවා. එලෙස තහවුරු වූ සම්බන්ධය අවසන් පුරුක වුයේ තායිලන්තයේ අභාවප්‍රාප්ත භුමිබෝල් රජතුමායි. ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පාලනය ගෙන යනවා. තායිලන්ත රාජධානියේ සංකේතයක් ලෙස රජ පරපුර තවමත් සිටිනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නොදියුණු තායිලන්තය දියුණු ආර්ථිකයක් බවට පත්වූයේ භුමිබෝල් රජතුමන්ගේ සමයේදීයි. පසුකාලීන තායිලන්තය විශාල දියුණුවක් අත්කර ගත්තා. අප කුඩා අවදියේ එවැනි දියුණුවක් තිබුනේ නැහැ. අද ඒ දියුණුව ඉදිරියට ගමන් කරනවා. කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, ධිවර කර්මාන්තය ආදි ක්ෂේත්‍රවලින් තායිලන්තය විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. ථෙරවාදි බුදු දහම පවතින රටක් ලෙස තායිලන්තය දියුණුව අත්කරගත් මාර්ගයේ ගොස් දියුණුව ළඟා කර ගැනීමට අපත් අධිෂ්ඨාන කරගත යුතුයි. භුමිබෝල් රජතුමාගේ සමයේදී තායිලන්තය එවැනි ශීඝ්‍ර දියුණුවක් ළඟා කර ගත්තා. එමෙන්ම එම යුගයේදී ශ්‍රී ලංකාව සමග ඇති සබදතාවය තවත් ලංවුණා. ලංකාව සමඟ තායිලන්තය මේ අයුරින් සම්බන්ධ කිරීම සම්බන්ධව භුමිබෝල් රජතුමාට ස්තුති වන්ත විය යුතුයි.

තායිලන්තය මෙන්ම අපත් ථෙරවාදි බුදුදහම අනුගමනය කරන හෙයින් මරණය නියත බව හොදින්ම දන්නවා. භුමිබෝල් රජතුමා කළ සේවයට ස්තුති කොට එතුමන්ට නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් පමණක් නොව සියලූම ලාංකිකයන් වන හින්දු, මුස්ලිම් ක්‍රිස්තියානි සියළු දෙනා වෙනුවෙන් අප එම ප්‍රාර්ථනාව කරනවා.

2016 දෙසැම්බර් මස 13 වන දින කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ පැවති අභාවප්‍රාප්ත තායිලන්ත රජතුමන්ට පිං පැමිණවීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව