Sri Lanka Brodcasting Corporation

Fri09222017

Last updateFri, 22 Sep 2017 1pm

Prime Minister's Speech

අපි හැමදාමත් ශ්‍රී ලාංකිකයන් -අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා

ගම්මඩුව ශ්‍රී ලාංකික ජන කලාවේ වැදගත් අංගයක්. ගම්මඩුව අපගේ ගැමි ජීවිතය තුළින් බිහිවූ කලාවක් බව කිව හැකියි. කොළඹ වැනි ගම්මඩු නැති නගරයක අපේ සංස්කෘතියෙන් කොටසක් ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ එම පුරාණ චාරිත්‍ර නගරයට ගෙන එන්නට ක්‍රියා කළ නාගරික කොමසාරිස් තුමා ඇතුළු නගර සභාවේ කාර්ය මණ්ඩල නිලධාරීන්ට ස්තූතිය පළ කළ යුතුයි. ඕනෑම රටක පදනම වන්නේ ජන කලාවයි. රටක් දියුණු වීමට ජනකලාව ඉවහල් වෙනවා. රටේ ශක්තිය ගොඩනැගෙනවා. එක් කලෙක කාම්බෝජය ඒකාධිපතිවාදයට යටත් වූ විට ඒකාධිපතියන් එරට ජන කලාව සම්පූර්ණයෙන්ම නැති කළා. ජන කලාව නැති කළ විට අලූත් රාජ්‍යයක් ඇති කළ හැකියැයි ඔවුන් සිතුවා. ඒත් පොල්පොට් ට අලුත් රාජ්‍යයක් ඇති කරන්නට බැරි වුණා. ජන කලාව නැති කාම්බෝජයට තවමත් තමන්ගේ සංස්කෘතිය ගොඩනැගීමට අසීරුවී තිබෙනවා.
 
ලංකාව ඒ අතින් ඉතා වාසිදායක රටක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ජන කලාව ආරක්‍ෂා වී තිබීම අපට විශාල වාසියක් වුණා. ගම්මානවලින් පැවතගෙන ආ ජන කලාව පමණක් නොව නගරවලද අලූත් ජන කලාවක් ඇති වී තිබෙනවා. එය අප රටට ශක්තියක්. ශ්‍රී ලංකාව සතු විවිධ ජන කලා අපට වූ විශේෂිත ශක්තියක් බව සිහිපත් කරන්නට කැමැතියි. ආගම් අනුව, ජාති අනුව පමණක් නොව අපේ ප්‍රදේශ අනුවද ජන කලාව විවිධත්වයක් ගන්නවා. උතුරුමැද පළාතේ තිබෙන්නේ දකුණේ ඇති ජන කලාව නොවේ. එමෙන්ම කොළඹ මුස්ලිම් ජනතාව අතර තිබෙන්නේ නැගෙනහිර මුස්ලිම් ජනතාව සතු ජන කලාව නොවේ. යාපනයේ ද්‍රවිඩ ජනතාව සතුව තිබෙන්නේ වතුකරයේ ද්‍රවිඩ ජනතාව සතු ජන කලාව නොවේ. 
මේ අයුරින් විවිධ වූ ජන කලාවන් තිබෙනවා. විවිධ වූ චාරිත්‍ර විධි තිබෙනවා. ශ්‍රී ලංකාව පෝෂණය වී ශක්තිමත් වී තිබෙන්නේ මේ සියල්ලෙහි සම්මිශ්‍රණය නිසයි. එලෙස විවිධත්වයෙන් යුතු ජන කලා අප සැමගේම ඇගැයීමට ලක්වී තිබෙනවා. ජන කලාවලින් මෙම ශක්තියක් ලැබෙනවා. සිංහල රජ කාලේ සිට ගම්මානවල විවිධ ජාතීන්, ආගමිකයන් ජීවත් වුණා. පෘතුගීසින්ගෙන් පසු ලන්දේසීන් පැමිණ පෘතුගීසි කතෝලිකයන් පන්නා දැමූ අවස්ථාවේදී මහනුවර දෙවන රාජසිංහ රජතුමා ඒ අයට වහ කෝට්ටේ ප්‍රදේශයේ යළිත් පදිංචිවීමට අවස්ථාව ලබා දුන්නා. විටින් විට මුස්ලිම් ජනතාව, ජෛන ජනතාව, මෙරටට පැමිණියා. ඔවුන් මෙරට ජීවත් වුණා. ඔවුන්ගේ සම්ප්‍රදායන්, චාරිත්‍ර විධි අතර මිශ්‍රණයක් ඇති වුණා. අද අපට එම සියලූ ජනකලා චාරිත්‍ර විධි පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා.
 
ශ්‍රී ලාංකික සංස්කෘතිය උත්සව වලින් පිරී තිබෙනවා. ඒ සඳහා අප සියලුම දෙනා සහභාගී වෙනවා. එක් කාලයක සිංහල අවුරුද්ද තිබෙනවා. ඊට පසුව වෙසක් සමය එළඹෙනවා. රාමසාන් උත්සවය, දීපවාලී උත්සවය, තෛපොංගල් උත්සවය, නත්තල් උත්සවය වශයෙන් වසර පුරාම විවිධ සංස්කෘතික, ආගමික උත්සවවලට ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. මේ සියලු උත්සව අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය කොටසක් බව කිව යුතුයි. අප ඒ සියලුම අනන්‍යතාවයන් ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා. අප අපට අදාළ ජන කලාව ආරක්‍ෂා කෙරෙන අතර, සෙසු ජාතීන්, ආගමිකයන් අනුගමනය කරන ජන කලාවලට ගරු කළ යුතුයි. ශ්‍රී ලාංකික පදනම එයයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් රැකෙන්නේ එවිටයි.
මෙරට බහුතරයක් සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවයි. සිංහල බෞද්ධ නොවන ජනතාව සමග එකට වැඩ කිරීමෙන් මෙරට ශක්තිමත් වන බව සිංහල බෞද්ධයන් ලෙස අප දන්නවා. එමෙන්ම දෙමළ, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි ආදී ලෙස සුළුතර ජන කොටස් සිටිනවා. ඒ අයගේ ශක්තිය තිබෙන්නේ සිංහල බෞද්ධයන් සමග එක්ව කටයුතු කිරීමෙන් බව ඔවුන් දන්නවා. ඒ නිසා අප ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කර ගනිමු. අද මෙම ගම්මඩු උළෙල සඳහා මුස්ලිම් ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් පැමිණ සිටිනවා. අප ශ්‍රී ලාංකිකයන් ලෙස අන්‍ය සංස්කෘතිකාංග සමගද එක්ව කටයුතු කරන බවට එය හොඳ උදාහරණයක් නොවේද? ඒ වගේම මුස්ලිම් උත්සව සඳහා අපත් සහභාගී වෙනවා. වසර 30 ක යුද්ධයේ දී කොපමණ සටන් කළත් අප ශ්‍රී ලාංකිකයින් නොවේ යැයි එහිදී කිසිදු පාර්ශ්වයක් පැවැසුවේ නැහැ. යුද්ධයේ මැද සිටි යාපනයේ දෙමළ ජනතාව පැවසුවේත් අප ශ්‍රී ලාංකිකයන් බවයි.
 
2015 වසරේ ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළේ එම ශ්‍රී ලාංකික බව ශක්තිමත් කිරීම සඳහායි. අප සියලූම දෙනාගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළි ගැනීම සඳහායි. දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි මෙන්ම සිංහල බහුතර ජනතාවක් එතුමාට ජන වරමක් ලබා දුන්නේ ශ්‍රී ලාංකික එකඟත්වය එකමුතුකම ඇති කිරීමටයි. ඒ වෙනුවෙන් අප පියවර ගණනාවක් ගෙන තිබෙනවා. එදා අපට ජිනීවා මානව හිමිකම් සංවිධානවලින් දොස් නැගුවා. අද කිසිවකුත් දොස් නගන්නේ නැහැ. අද ලංකාවේ එකමුතුකම ගැන ජාත්‍යන්තරය පිළිගැනීමට ලක්ව තිබෙනවා. එම ශ්‍රී ලාංකික සමගිය රට ඉදිරියට ගෙනයාම සඳහා විශාල රුකුලක් වී තිබෙනවා. ආයෝජකයන් මෙරටට එන්නේ එවැනි තත්ත්වයක් තිබෙන විටයි.  
ආයෝජකයන්ට රටේ ස්ථාවර බව ඉතා වැදගත්. අප ඒ තත්ත්වය ආරක්‍ෂා කරගත යුතුයි. මේ පසුබිම කඩා විසිරුවා දැමීමට අන්තවාදීන් උත්සාහ කරනවා. අප අපේ ආගමේ, ජාතියේ චාරිත්‍ර ආරක්‍ෂා කරගත යුතුයි. මෙවැනි ගම්මඩු උළෙලක් පැවැත්වීම සිංහල බෞද්ධ අපට අභිමානයක්. ගම්මඩුවේ විශේෂ ස්ථානයක් හිමිවන්නේ පත්තිනි දෙවියන්ටයි. පත්තිනි දෙවියන් ඉන්දියාවේ හින්දු සංකල්පයකින් පැවතගෙන ආවත් අප එය ඉවත් කරන්නේ නැහැ. පත්තිනි දේව සංකල්පය ඉවත් කළොත් අපට ගම්මඩුව නැහැ. ගම්මඩුව අපේ චාරිත්‍රයේ කොටසක්. අප ඒ ගැන ආඩම්බර වෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාව ඔවුන්ගේ සංස්කෘතිකාංග ගැන ආඩම්බර වෙනවා. ඊට අමතරව අප ශ්‍රී ලාංකිකයන් යැයි සියලූමදෙනා ආඩම්බර වෙනවා. එය දෙපසට බෙදී ගහ ගැනීමට කාරණාවක් නොවේ. 
 
සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, දෙමළ චාරිත්‍ර සියල්ල අප සතුව තිබෙනවා. එලෙස පෝෂණය වූ සංස්කෘතිය නිසා අප ඉදිරියට යනවා. ඒ එකමුතු බව අප ආරක්‍ෂා කළ යුතුයි. එකමුතු බව ශක්තිමත් කළ යුතුයි. එම වැඩකටයුත්ත ශක්තිමත් කරන ඕනෑම පුද්ගලයෙකුට අප සහයෝගය ලබා දෙනවා. ඒ අතරතුර තමන්ගේ ආගමික, ජාතික චාරිත්‍ර සඳහා අනුබල දීම කිසිම වරදක් නොවේ. එය කළ යුත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළයි. සියලුම ප්‍රදේශවල ජන කලා, සංස්කෘතිකාංග සඳහා අප අතදිය යුතුයි. අන්ත ජාතිවාදය, අන්තවාදය පතුරවනවා නම් ඒ අයට විරුද්ධව අප තදින් ක්‍රියා කරනවා. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා. කොළඹ නගරයට පැරණි කලාංගයක් රැගෙන ඒම පිළිබඳව කොළඹ මහ නගර සභාවේ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා. 
 
2016.11.25 වන දින කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ පැවැති ගම්මඩු ශාන්තිකර්ම සමාරම්භක උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වු අදහස්